හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර පෙර ඇප මත මුදාහැරීමට නියෝග

අගෝ 06, 2021

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සඳහා එම නඩු ලබන 27 වන දා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියා.

    ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු පෙර ඇප මත මුදාහැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට අදාල අධිචෝදනා පත්‍ර වල අන්තර්ගත චෝදනා යළි අධ්‍යනය කර නිශ්චිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත ලබන 27 වනදා කැඳවීමට නියම කළ අතර එදින විත්තිකරුවන්ට අදාළ චෝදනා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට නියම කළා.

    2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 864 ක් බැගින් එල්ල කරමින් මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා.

    මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අගවිනිසුරුවරයා විසින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමට නියම කර තිබෙන්නේ.

    Latest News