හේමසිරි - පූජිත්ට එරෙහි නඩු විභාගයට විනිසුරු මඩුල්ලක්

ජූලි 07, 2021

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා 864 ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් කර තිබේ.

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරුවරු මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වශයෙන් නම් කර ඇත.

    මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි, අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබෙන්නේ.

    2019 වසරේ අප්‍රේල් මස 07 වැනිදා සහ එම මස 21 වැනිදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 864 ක් බැගින් එල්ල කරමින් මෙම නඩු දෙක ගොනු කර තිබේ.

    Latest News