හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

පෙබ 18, 2022

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොටස් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේ

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරුවරු විත්ති වාචකය කැදවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.

    මෙම නඩුව ගොනු කිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා නියෝගය ප්‍රකාශයට පත් කරමින් සදහන් කළා.

    විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ තත්ත්වයක පසුවු බව සාක්ෂිවලින් පෙනී යන්නේ යැයි සදහන් කළා.

    සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයා සිය වගකීම ඉටුකිරීම පැහැර හැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ඔහු ක්‍රියා කර ඇති බව පෙනී යන්නේ යැයි ද පටබැදිගේ විනිසුරුවරයා පැවසුවා.

    ඔහු අත්අඩංගුවට ගැනීමට උපදෙස් දීම පවා ගැටළු සහගත බවත් විනිසුරු පටබැඳිගේ සදහන් කළා.

    2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා 855 ක් එල්ල කරමින් මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News