'කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කරන්න පළාත් පාලන ආයතන සූදානම්' - කෘෂිකර්ම ඇමති කියයි

ජූලි 13, 2021

    කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය වැඩසටහන් පිළිබඳව රජයේ පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (12) කොළඹදී පැවැත්විණ.

    රජයට සම්බන්ධ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සියලුදෙනා මෙම වැඩමුළුවට එක්විය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික වැඩමුළුවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද මේ සඳහා එක්විය.

    දැනටමත් පළාත් පාලන ආයතන රැසක කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ඒ සඳහා වූ පහසුකම්, පවතින ගැටළු, තාක්ෂණය, ඉඩම්, සහන ණය ආදී පහසුකම් සියල්ල නිරාකරණය කිරීමට රජය සූදානම් බව ද මෙහිදී පළාත් පාලන ප්‍රධානීන්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.


    “ අපි මේ හැප්පෙන්නේ වාර්ෂික රුපියල් බිලියන 100ක මහා පරිමාණ වෙළඳ මාෆියාවක් සමඟ. ඒක ලේසි පහසු නෑ. සියලුදෙනා මුදලට ගන්න අපේ ව්‍යායාමය ආපස්සට හරවන්න මේ සමාගම් මුදල් යොදවනවා. ඒ නිසා සියලු පළාත් පාලන ආයතනවල සහාය අපේ වැඩපිළිවෙලට ලබාදීම ඉතා වැදගත්. ඒක රටේ හෙට දවස වෙනුවෙන් පරිසර හිතකාමී කෘෂිකර්මය ගොඩ නඟන ගමනට මහා හයියක්. ඔබට අවශ්‍ය දේ අපට කියන්න. පොහොර ගැටළු තියෙනවා නම් දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස්වරු එක්ක කතා කරන්න. විසඳුම් නැති වුණොත් මට හෝ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කතා කරන්න. පොහොර හිඟයක් රටේ නෑ. ඒක මුළුමනින්ම මවාපෑමක්. ගමේ ජනතාව සමඟ ඉන්නේ වැඩිපුරම ඔබතුමන්ලා. ගැටළු එන්නේ ඔබතුමන්ලාට. ඒ නිසා හරි දේ ගැන ගමේ ජනතාව දැනුවත් කරන්න. පහදලා දෙන්න. මේක කළ හැකි, කළ යුතු යුතුකමක්. ඔබ වෙනුවෙන් ඕනෑම ගැටළුවකට උත්තර දෙන්න, ගැටළු විසඳන්න රජය සූදානම්. විශ්වාසයෙන් මේ වැඩේ ඉටු කරන්න.”

    Latest News