කාබනික පොහොර ආනයනය කිරීමට එරෙහිව ගොණු කෙරුනු පෙත්සම සලකා බැලීම සඳහා දින නියම වේ

ඔක් 29, 2021

    විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

    එහිදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ කාබනික පොහොර විදේශවල සිට ගෙන්වීමක් නොකරන බවයි.

    මෙරටට ආනයනය කළ කාබනික පොහොර අඩංගු නෞකාවක් රට තුළට ඇතුළත් වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද නීතිපතිවරයා අභියාචනාධිකරණය දැනුම් දුන්නා.

    එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවීමට නියම කළා.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූණා.

    එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටියේ රජය විසින් චීන සමාගමකින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි

    එම කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා හා කෘමීන් අන්තර්ගත ගත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය භාවිත කිරීමෙන් මෙරට පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද දැඩි අගතියක් සිදු විය හැකි පෙන්වා දෙනවා.

    මෙලෙස ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයට ගැනීම තුළින් පැළෑටි සංරක්ෂණ පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු අණ පනත් යටතේ වරදක් උද්ගත වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    එම පොහොර වර්ග වගා කටයුතු සදහා යොදාගත හොත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැඩි ඛේදවාචකයක් ඇති වීමට ඉඩ කඩ ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ප්‍රමිතියෙන් තොරව කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කළ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News