කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නවතයි...කෘෂිකර්ම ඇමති

සැප් 29, 2021

    මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද, මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. 

    “ අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි, චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ.

    පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා.

    එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ නැති බව අප ජනතාවට සහතික වෙනවා. ”

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 18:56

    Latest News