ශ්‍රී ලන්කන් 'මොස්කව්' වෙත යළි ගමන් අරඹයි

ජූලි 07, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන්  ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2021 ජූලි මස 30 වන දින සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව් හි  ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපල අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ශ්‍රී ලංකන් සිය ගුවන් ගමන් ආරම්භ කරන්නේ පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා සමගින්ය.  සතියකට එක් වරක් එනම් සෑම සිකුරාදා දිනකම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත. UL533 ගුවන් යානය පැය 22:20 ට කොළඹින් පිටත් වී පැය 04:30 ට මොස්කව් ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළට ගොඩබසිනු ඇත.නැවත ආපසු UL534 මොස්කව් සිට පැය 19:15 ට පිටත්ව ඊළඟ දවසේ එනම් ඉරිදා දින පැය 06:05 ට නැවත කොළඹට පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ වේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ, කොළඹ සහ මොස්කව් සම්බන්ධ කරන ගුවන් සේවා නැවත ආරම්භ කිරීම සංචාරක කටයුතු වලට පහසුකම් සැපයීම පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වන බවයි.  එසේම මොස්කව් වෙත නැවත පියාසර කිරීම රටවල් දෙකටම නව අවස්ථා විවර කර දෙනවා සේම සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ ඵෙතිහාසික උරුමය අත්විඳීමේ අවස්ථාව ද උදාවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    පවතින වෛරස වසංගතය ආරම්භයට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 20ක ගමනාන්ත 37ක් වෙත පියාසර කළ අතර  මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රමයෙන් සිය ජාලය නැවත ගොඩනඟා ගනිමින් එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කිරීමට සැලසුම් කර ඇත.

     

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා...

     “ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙය සුවිශේෂී ගුවන් සම්බන්ධතාවයක්.  අපි ලෝකයේ විශාලතම රටක් හා සම්බන්ධ වීමක් පමණක් නොවෙයි රුසියාව ශ්‍රේෂ්ඨ සංස්කෘතික හා ඵෙතිහාසික ගමනාන්තයක් ලෙසද මෙය හැඳින්විය හැකියි.නව ගමනාන්තය රුසියාව සහ ඒ අවට රටවල් සම්බන්ධ කිරීම සඳහා පහසු ගමන් මාර්ගයක් ලබා දෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියානු අමුත්තන් සහ අපගේ ගුවන් ගමන් වල යෙදෙන මගීන් පිළිගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා"  

    ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX)හි SimpliFlyingසෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond”  ප්‍රමිතිය  පසුගියදා හිමිවිය.  ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු සේවා, සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ස්ථිර කීර්තියක් ඇති සම්මානලාභී ගුවන් සමාගමකි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට් පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.

     

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් අංශ ප්‍රධානී දිමතු තෙන්නකෝන් මහතා...

    ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර 6ක විවේකයකින් පසු රුසියානු අගනුවරට නැවත ගුවන් ගමන් ආරම්භ කරනවා. එසේම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමත් සමග කොළඹ කේන්ද්‍ර කර ගනිමින් අපගේ ගෝලීය මාර්ග ජාලය හරහා ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කිරීම දැන් වඩාත් නම්‍යශීලී වනු ඇති.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ හා රුසියාවේ සිසුන්ට මෙම මෙහෙයුම් මගින් විශාල ප්‍රතිලාභයක් ලැබෙනු ඇති. තවද මගීන්ට දැනු පුරාණ සෞන්දර්යාත්මක නගරයක් වන මොස්කව්හි සංචාරය කළ හැකි අතර ශ්‍රී ලංකාන් ගුවන් සේවය සමග පියාසර කරන විට ප්‍රසිද්ධ ශ්‍රී ලංකන් ආගන්තුක සත්කාරය අත්විදිය හැකියි. ජාතික ගුවන් සේවය වශයෙන් දෙරට අතර අපගේ සංචාරකයින් සඳහා ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන් සමග හොඳම පන්තියේ සංචාරක අත්දැකීම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා...

    Last modified on බදාදා, 07 ජූලි 2021 16:38

    Latest News