කොවිඩ් හමුවේ පහසුකම් නොලබන ආගමික ස්ථානවලට ප්‍රත්‍ය පහසුකම්

ජූනි 03, 2021

    කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙසේ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමීම ක්‍රියාත්මක වේ.

    මෙයට පෙර රට අගුලු දැමූ අවස්ථාවල සහ සංචරණ සීමා පැනවූ කාලවල දී ද අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ආගමික ස්ථාන වෙනුවෙන් ප්‍රත්‍ය පහසුකම් සැපයීම අඛණ්ඩව සිදුවිය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන, මෙහෙණි ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථානවලට "සතොස" සහයෝගය ඇතිව වියළි ආහාර සලාක පාර්සලයක් හිමිවනු ඇත.

    මෙම වැඩපිළිවෙල යටතේ සියලුම ආගම් නියෝජනය වන පරිදි අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් එම ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතවත් කෙරිණි.

    ඒ අනුව පූජ්‍ය කොළොන්නාවේ සුගතවංශ හිමි, පූජ්‍ය වටගෙදර විමලබුද්ධි හිමි, ලින්තොටගේ ප්‍රශාන් ඩිලන්ත ප්‍රනාන්දු පියතුමා, වෑකන්ද ජුම්මා පල්ලියේ නසීර් මව්ලවිතුමා, වැල්ලවත්ත සිවසිරි වී. සෝමසුන්දර පූජකතුමා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් අධාර පාර්සල් ලබාගත්හ.

    රාජකීය පණ්ඩිත පූජ්‍ය අග්‍රහැර කස්සප නාහිමි සහ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි මෙම අවස්ථාවට වැඩම කළ වදාළහ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අතිරේක ලේකම් (සංවර්ධන) ජේ.සී රණේපුර, අධ්‍යක්ෂ(සංවර්ධන) කේ.කේ.චම්පිකා කනේරු, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News