හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් වූ මාර්ගගත සැලසුම් ජනපතිට

මැයි 25, 2021

    දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කෙරිණ.

    දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ නියෝජිතයන් සමග ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී අදාළ සැලසුම් ඉදිරිපත් කෙරිණි.

    පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු ගෝලය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අත්කරගත යුතු ඉලක්ක සහිත සැලසුම් සකස් කිරීම ජනාධිපතිතුමා විසින් අදාළ අමාත්‍යවරුන්ට පවරනු ලැබිනි. ඒ අනූව අමාත්‍යාංශ විසින් පුළුල් අධ්‍යයනයකින් පසු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ.

    පරිසර සංවේදී කලාප හඳුනාගනිමින් වන ඝණත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවීම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.

    ඒ සඳහා හේන් ගොවීන් අතහැර දමන ලද ඉඩම්, රක්ෂිත වනාන්තර තුළ පිහිටි හේන්, ආක්‍රමණශීලි ශාක පැතිරී ඇති ඉඩම් සහ තෙත් කලාපයේ ෆයිනස් වගා කොට ඇති ඉඩම් භාවිතා කිරීමේ හැකියාව මාර්ගගත සැලැස්මේ පෙන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාවේ වන ආවරණය 2025 වන විට 30% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි. එය“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කොට තිබේ. රටේ වන ආවරණය සහ වන ඝනත්වය ඉහළ නැංවීමේදී මිනිස් පරිභෝජනයට මෙන්ම සතුන්ගේ ද ආහාරයට ගත හැකි කොස් දෙල්, පළතුරු වැනි වගාවන් සඳහා ප්‍රමුඛත්වයක් දීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයි. ඉතිහාසයේ පළමු වරට ඩීසල් බලාගාර වලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකක ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සුළං බලාගාරවලින් උත්පාදනය කිරීමට හැකි වූ බව අනාවරණය කෙරිණි.

    ප්ලාස්ටික් භාවිතය තවදුරටත් අඩුකිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද සාකච්ඡාවට ලක් විය.

    පාසල් අධ්‍යාපන විෂය හා බාහිර ක්‍රියාකාරකම්වලදී පරිසර හා ජෛව විවිධත්වය මුල් කොටගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා විකල්ප හඳුන්වාදෙන ව්‍යාපාරිකයින් දිරිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිළිබඳවත් අවධානය යොමු විය.

    නාගරික සංවර්ධන හා මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර අලංකරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ගස් සිටුවීමේ සමගාමී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මේ වන විට කාබනික පොහොර අවශ්‍යතාවයෙන් 30% ක් මෙරට ගොවීන්ගෙන් සපුරා ගැනීමට සැලසුම් කර ඇත. මහවැලි කලාප 10ක ගොවීහු කාබනික පොහොර නිෂ්පාදනයට මේ වන විටත් යොමුව සිටින බව මෙහිදී සදහන් කෙරිණි. ඉතිරි ප්‍රමාණයත් මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමට ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව සාකච්ඡා විය.

    අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, සී.බී. රත්නායක, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News