පා. ම. හරීන් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නැහැ - නීතිපති

අප්‍රේ 30, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ජුලි මස 14 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    එස්.තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් උද්ගත වී නොමැති බව පැවසුවා.

    කෙසේ වෙතත් විමර්ශන කටයුතු සඳහා හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව විමර්ශන ගොනු පොලිසිය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ඇති බවත් පැවසුවා.

    එම විමර්ශන ගොනු ලැබීමෙන් පසුව ඒවා අධ්‍යයනය කර පෙත්සම්කරු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා දැනුම් දුන්නා.

    තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද හරින් ප්‍රනාන්දු මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    එවැනි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවන හෙයින් රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන්ද ගැටලුවක් මතු නොවන බවයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

    මෙහිදී පෙත්සම්කාර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම සලකා බලන තුරු අත්අඩංගුව ගැනීමක් සිදුනොකරන බවට නීතිපතිවරයා විසින් ප්‍රතිඥාවක් ලබා දෙන හෙයින් එම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 14 වන දා තෙක් කල් තැබුණා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර, නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ තමන්ට දුරකථනයෙන් කථා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 25 වනදා පෙනී සිටින ලෙස දැනුම් දුන් බව පවසනවා.

    ඉන් අනතුරුව අසනීප වීම නිසා තමන් රෝහල් ගත වූ බවද ඔහු සඳහන් කළා.

    තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා තැබීමේ සූදානමක් පවතින බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කළා.

    ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියා.

    එමෙන්ම තමන්ව රදවා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝගයක් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News