වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

අප්‍රේ 20, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දෙවන දිනයේත් ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    පෙත්සමක් ඉදිරිපත් කළ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකර ගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කර ගත් සංශෝදිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ පැවසීය. 

    කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සදහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒ අනුව පලාත් සභා විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යැයි චෝදනා කළේය.

    මෙම පනත් කෙටුම්පත තුළින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන තීරණය මුලූමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු චෝදනා කළේය.

    මේ තුළින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරට ලක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය තුළ සිටින්නන්ට රටේ අනෙකුත් ජනතාවට හිමි නොවන සුවිශේෂ වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුළ නීතිය මෙලෙස දෙයාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

    මෙම පනත් කෙටුම්පත තුළින් අපේක්ෂා කෙරෙනේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා මෙම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යපාර තුළින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බව ද සඳහන් කළේය.

    පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙයි.

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල , අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

    මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News