පාස්කු ප්‍රහාරය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිඥවරයෙකුගෙන් එන්තරවාසි

අප්‍රේ 05, 2021

    රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපුු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකු වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

    ඒ, ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදු වූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙනි.

    නීතිඥ සුජීව ගුණතිලක මහතා මාර්ගයෙන් යොමු කර ඇති එම එන්තරවාසියේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා.

    නීතිඥ මෝදිත ඒකනායක මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් එය වළක්වා ගැනීමට පියවර නොගත් බවයි.

    මේ හේතුවෙන් ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් තමන් ද බරපතළ තුවාල ලැබූ බව පෙන්වාදන පැමිණිලිකාර නීතිඥ ඒකනායක මහතා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට මෙම එන්තරවාසිය තුළින් දැනුම් දී තිබෙනවා.

    දින 14ක් ඇතුළත මෙම වන්දි මුදල ගෙවන ලෙසත් එය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් දිසා අධිකරණය හමුවේ නඩු පවරන බවටත් අදාළ එන්තරවාසිය තුළින් දැනුම් දී තිබෙනවා.

    එමෙන්ම පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තවත් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

    එම එන්තරවාසිය තුළින්ව අවධාරණය කර තිබෙන්නේ ෂැංග්‍රිලා හෝටලය තුළ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ල කිරීමට හැකියාව ලැබුණු බවයි.

    හේතුවෙන් හෝටලය තුළ සිටි තමන් බරපතල තුවාල ලැබූ බවද නීතිඥ මුදිත ඒකනායක අදාල එන්තරවාසිය තුළින් සඳහන් කර තිබෙනවා.

    මේ අතර ෂැංග්‍රිලා හෝටලයේ තුළ සිදුවූ මරාගෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තමන්ට රුපියල් මිලියන 400 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා එම බෝම්බ ප්‍රහාරය සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ පියා වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන යුසුප් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු තිදෙනෙකු වෙත නීතිඥ මෝදිත ඒකනායක විසින් තවත් එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

    Latest News