පාස්කු බෝමබ ප්‍රහාරය ISIS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කළ සැකකරු රිමාන්ඩ්

ඔක් 02, 2019

    පාස්කු බෝම්බ ප්‍රහාරය අයිඑස්අයිඑස් බෝම්බ ප්‍රහාරයක් බවට ප්‍රචාරය කළ බවට සැකකරන තවුහිද් ජමාත් ප්‍රබල සාමාජිකයෙකු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරේ.

    අප්‍රේල් පාස්කු බෝම්බ ප්‍රහාරය අයි එස් අයි එස් බෝම්බ ප්‍රහාරයක් බවට ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සන්නිවේදන කටයුතු සිදු කළ බව කියන තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන කාත්තන්කුඩි පදිංචි අහම්මදු මොහම්මදු අර්ෂාද් යන සැකකරු තවදුරටත් ලබන ඔක්තෝබර් මස 16 වනදා දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(02) නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ සැකකරුව බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

    හෝටල්වලට සහ කතෝලික දේවස්ථානවලට සිදු කළ ප්‍රහාරය අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස, මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින මාතලේ පදිංචි මොහොමඩ් සහරාන් ෆස්රුල් රහුමාන් යන අයට අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස දැනුම් දී ඇත්තේ මෙම සැකකරු බවත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    එමෙන්ම රහුමාන් යන සැකකරු සමග මොහු කටාර් රාජ්‍යයෙන් අයි එස් අයි එස් සාමාජිකයන් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇති බවට විමර්ශන අනාවරණය කර ඇති බවත් ඔවුන් එරටින් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා ප්‍රශ්න කළ බවත් රහස් පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

    සැකකරු මෙම සිද්ධින්වලට සම්බන්ධවී නැති බවත් සැකකරුගේ නමට අදාළ සැකකරුවෙක් වෙනුවෙන් සැකකරු අත්අංඩංගුවට ගෙන ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතඥ මඩුල්ල අධිකරණයට දන්වා ඇත. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට කුමන වගන්තියට අනුව නඩු පැවරිය හැකිද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට දන්වා සිට්යේය.

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව සිදු කළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

    විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස16 වනදා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News