පාස්කු ප්‍රහාරය ගැන ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල් යයි

මැයි 12, 2020

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල් යයි.

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළේ යැයි චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් වූ විභාගය සැප්තැම්බර් මස 02 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

    මෙම පෙත්සම් අද දින සිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට මීට පෙර නියම කර තිබිණ.

    එහෙත් එම පෙත්සම් අද කැඳවනු ලැබූයේ බුවනෙක අලුවිහාරේ, ඇස්.තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

    ඒ අනුව අදාළ පෙත්සම් විභාගය සැප්තැම්බර් 02,03,සහ 04 යන්න දිනවලට කල්තබන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.

    මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටියේය.

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හා සම්බන්ධ ලේඛන තිබේනම් ඒවා ඔහුගේ නීතිඥවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

    එමෙන්ම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ජුලි මස තිස් වැනිදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එළ කරනු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළේ යැයි චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව එම බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත්වූ පුද්ගලයින් ඇතුළු පාර්ශව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    Latest News