මහ සිකුරාදා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය

අප්‍රේ 02, 2021

    අදට යෙදෙන මහ සිකුරාදා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුභාශිංසනය..

    සුභාශිංසන පණිවිඩය

    විමුක්තිදායක ප්‍රීතියේ සැමරුම් දිනය පාස්කුවයි. මෙදින ලොව පුරා කිතුණු බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම මහත් හරසරින් සමරනු ලබයි.

    පාස්කු මංගල්‍යයට පෙර කිතුණු බැතිමත්හු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය මහ සිකුරාදා දිනයේ සිහිපත් කරති.

    ඒ සඳහා ඔවුන් දින හතළිහක කාලයක් යාඥාවෙන් භාවනාවෙන්, උපවාස ශීලයෙන් හා විවිධ පුණ්‍ය ක්‍රියා ඔස්සේ අධ්යාභත්මික සහනය ප්‍රාර්ථනා කරයි.

    පාස්කු ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සළස්වන මහඟු අවස්ථාවකි. පාස්කු අර්ථයෙන් ගත්විට සියලු දෙනා එතෙර වීම මුළු මහත් සමාජයම බලාපොරොත්තුවන්නකි.

    පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟා කර ගත හැකි අධ්‍යත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලු දෙනාට එක සේ වැදගත්ය.

    ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා ! යැයි මම ප්‍රර්ථනා කරමි.

    ශ්‍රී ලාංකේය කිතුණු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා !

    මහින්ද රාජපක්ෂ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

    Latest News