ශානි අබේසේකර ගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් ලබාදෙයි

මාර් 17, 2021

    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමට අදාළ විරෝධතා අප්‍රේල් මස 29 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.

    මෙම පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට මාස හතක් පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව පැවසුවා.

    තම සේවාදායකයා හෘද සැත්කමකට භාජනය වී මේ වන විට දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන හෙයින් මෙම නඩුව කෙටි දිනයකදී විභාගයට ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම නඩුවට අදාළ විරෝධතා අප්‍රේල් මස 29 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කලා.

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

    තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ඔහු විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා.

    එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ශානි අබේසේකර ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ද අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙස නියම කළා.

    Latest News