ශානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දෙසැ 10, 2020

    තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න , කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එම කොට්ඨාසයේ පොලිස් පරික්ෂක නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියේදී ව්‍යාජ සාක්ෂි ගොතන ලදැයි චෝදනා කරමින් තමන් ව මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින බවයි.

    මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිත ව රෝහල් ගතව සිටින තමා දැඩි සෞඛ්‍යමය තර්ජනයකට මුහුණ පා සිටින බවද ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට තරම් සාක්ෂියක් නොමැති බවත් ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.

    තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කොට ඒ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන ලෙසත් ශානි අබේසේකර ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ආයුධ සෙවීමේ කටයුතු ඇතුළු විමර්ශන කටයුතු සදහා පෙත්සම්කරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන්නේ නම්, පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසට පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

    Latest News