ශානි අබේසේකරගේ පෙත්සම සලකා බැලිමේ කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

මාර් 10, 2022

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අඩංගුවට ගෙන රැඳවුම් නියෝගයක් මත රඳවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද ඉවත් වුණා.

    මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී තමන් මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා දන්වා සිටියා.

    පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 07 වන දා කැඳවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 07 වනදා කැඳවන ලෙස නියෝග කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, මහජන ආරක්ෂක ඇමැති, එම අමාත්‍යාංශ ලේකම් , නීතිපති ඇතුළු දහ හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.

    පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බවත් ඒ මත විමර්ශන සිදු කළ බව කියමින් "බී" වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් පෙබරවාරි මස 10වැනිදා ඉදිරිපත් කළ බවද තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු සදහන් කළා.

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ බිරියගේ නිවසට ගිය පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ නිසිලෙස සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාව සිටි තමා පියවර නොගත් බවට එමගින් චෝදනා කර ඇතැයි ද පෙත්සම්කරු සදහන් කළා.

    එසේ තිබියදී අදාළ බී වාර්තාව පදනම් කරගෙන තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1)වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් රැදවුම් නියෝග නිකුත් කිරීමෙන් ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

    Latest News