මුතුරාජවෙල සම්බන්ධව අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි,නියෝග

මාර් 09, 2021

    මුතුරාජවෙල සංරක්ෂිත අභය භූමි ප්‍රදේශය තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    මුතුරාජවෙල සංරක්ෂිත භූමි ප්‍රදේශය තුළ සිදුවුන නීතිවිරෝධී ඉදිකිරීම්, කැලිකසල බැහැර කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කෙරිණ.

    මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නේ මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශය තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අද දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

    ඒ අනූව නඩුව කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥවරිය මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශය තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කර ඇති බව පැවසීය.

    එම වාර්තාව මාර්තු මස 4 වැනිදා සකස් කොට අවසන් කළ බවයි ඇය සඳහන් කළේ.

    එම තත්ත්ව අධ්‍යයන වාර්තාව මාර්තු මස 24 වැනිදා පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස රජයේ නීතිඥවරියට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මාර්තු මස 30 වැනිදා සිදු කරන බවත් නියම කළේය.

    මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වනජීවී දෙර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මීගමුව, වත්තල හා ජා ඇල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීති විරෝධී හා අනවසර ඉදිකිරීම් රාශියක් සිදු වෙමින් පවතින බවයි.

    ඊට අමතරව අදාල කලාපයේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතුද සිදු වන බව පෙන්වා දෙන ඔවුන් කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල සිට රැගෙන එන කැලිකසල බැහැර කිරීම නිසා විශාල පාරිසරික දූෂණයක් සිදු වන බව ද පෙන්වා දෙනවා.

    ඊට අමතරව කර්මාන්තශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය ද මුතුරාජවෙල කලාපය තුළට මුදාහැරීම නිසා එම පාරිසරික හානිය දැඩි ලෙස උත්සන්න වී තිබෙන බවද පෙත්සමෙන් චෝදනා කර තිබේ.

    මේ හේතුවෙන් සංරක්ෂිත කලාපයක් වශයෙන් නම් කර තිබෙන මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ සිදු කෙරෙන නීති විරෝධී අනවසර ඉදිකිරීම්, ගොඩකිරිම් හා කැළිකසළ බැහැර කිරීම් තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඊට අමතරව මුතුරාජවෙල තෙත්බිම් කලාපය යළි මිණුම් ගත කොට එහි මායිම් අලුතින් නිර්නය කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසත් රටේ තෙත්බිම් ආරක්ෂා කිරීමේ "ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක්" සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Latest News