අමාත්‍ය පාඨලී චම්පික රණවක ට එරෙහි නඩුව අප්‍රේල් 27 වන දා යළි කැඳවීමට නියෝග

මාර් 04, 2021

    අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා දුන්නා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබුවා.

    චෝදනා කියවා දීමෙන් පසුව චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්ෂා කරන බව සඳහන් කළා.

    ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙවැනි විරෝධතාවයක් ඉදිරිපත් කළ හැක්කේ නඩුවේ මුල් අවස්ථාවේදී බව සඳහන් කළා.

    මේ වන විට විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාර දී ඔහුට අධිකරණය විසින් ඇප ද නියම කර ඇති නිසා මේ වන විට විත්තිකරු අදාල චෝදනාවන්ට යටත් වී ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ හේතුවෙන් මෙම අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කිරීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

    අද නඩුව කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ සිතාසිවලට අනුව නඩුවේ සාක්ෂි කරුවන් ලෙස නම් කර සිටින මෙම සිද්ධියෙන් අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති සාක්ෂිකාර තරුණයා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණ ශාලාව තුළට ඉදිරිපත්කර තිබුණා.

    ඊට අමතරව තවත් සාක්ෂිකරුවන් හතර දෙනකු ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

    ඔවුන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා නැවත දැනුම් දීමක් ලද විට අධිකරණයේ පෙනී සිට ලෙසත් නියෝග කළා.

    ඊට අමතරව අනතුරට ලක්වන අවස්ථාවේ දී මෙම තරුණයා විසින් පැදවූ යතුරුපැදිය ද නැවත දැනුම් දුන් අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා විසින් සාක්ෂිකරුට නියෝග කළේ.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ තවත් ඉල්ලීමක් කරමින් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් පැදවූ විදුලිබල අමාත්‍යාංශයට අයත්ව තිබූ WP KD7545 දරණ ජීප් රථය මේ වන විට මුදල් අමාත්‍යශයේ තිබෙන බවත් එම වාහනය මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාල වාහනය මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, රිය අනතුරක් සිදු වූ බව දනිමින් ඒ පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම, අපරීක්ෂාකාරී හා වේගයෙන් මගීන්ට අනතුරුදායක විය හැකි ආකාරයෙන් වාහන පදවා සන්දීප් සම්පත් නැමැති තරුණයකු බරපතළ අනතුරකට ලක් කිරීම, අනතුරට පත් එම තරුණයා රෝහලක් වෙත රැගෙන යාම පැහැර හැර පලා යාම ඇතුළු චෝදනා හතරක් යටතේ මෝටර් රථ වාහන පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News