හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම් විභාගය මැයි 17

මාර් 04, 2021

    2008 වසරේ තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගය සඳහා මැයි මස 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විනිසුරු මඬුල්ල නියෝග කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය මැයි මස 17 දා සිදු කරන බවයි.

    වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ 2008 වසරේ තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා ඇති බවයි.

    එම නඩුවට තමන්ව සම්බන්ධ කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි යැයි පෙන්වා දෙන කරන්නාගොඩ මහතා තමන්ට එරෙහිව කිසිදු සාක්ෂි නොමැති බවද සඳහන් කළා.

    එම නිසා තමන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අභියාචනාධිකරණය විසින් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පවත්වන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අතුරු නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

    Latest News