ලක්ෂපානට හානියක් නොමැති අනවසර ඉදිකිරීම්වල අයිතිය පවරා දෙන්න සූදානම්

මාර් 04, 2021

    ලක්ෂපාන බලාගාරයට හෝ ජලාශයට හානියක් නොමැති අනවසර ඉදිකිරීම්වල ඉඩම් හිමිකාරීත්වය පවරා දෙන්න සූදානම් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    "ලක්ෂපාන බලාගාරය සහ ඊට අයත් ජලාශ ආශ්‍රිතව පවුල් 350 ක් පමණ මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම්වල සිය වාසස්ථාන ඉදිකරගෙන ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වගාවන් පවත්වාගෙන යනවා. මෙම ඉඩම්වල නීත්‍යානූතකූල හිමිකම් තවමත්  ලංකා විදුලිබල මණ්ඩලය සතුයි.

    වසර 80 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජනතාව පදිංචි වී සිටින මෙම ඉඩම් පිළිබදව සොයාබලා, බලාගාරයට හෝ ජලාශයට හානියක් නොවන ආකාරයේ ඉඩම්, අදාළ පදිංචිකරුවන් වෙත නීත්‍යානුකූලවම පවරාදීමට කටයුතු කරනවා. ඒ වගේම බලාගාරය ඉදිකරන අවස්ථාවේ ඒ වෙනුවෙන් සිය ඉඩම් අහිමි වූවන් ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානයේ, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ස්ථාපිත විදුලිපුර විද්‍යාලයේ සහ ආරෝග්‍ය ශාලා දෙකක නීත්‍යානුකූල ඉඩම් හිමිකම්ද අදාල ආයතන වෙත පවරාදීමට කටයුතු කරනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    ලක්ෂපාන බලාගාරය සහ ජලාශය ආශ්‍රිතව ලංකා විදුලිබල මණ්ඩලය සත ඉඩම්වල ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් ලබාදිය හැකි විසදුම් පිළිබදව පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රමුඛ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, බලාගාර නිළධාරීන් සහ අදාළ පදිංචිකරුවන් සමග විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

    ලක්ෂපාන බලාගාරය ඉදිකරන අවස්ථාවේ සිය පාරම්පරික ඉඩම් හිමිකම් අහිමිවූවන් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිපුර ගම්මානය ඉදිකර ඔවුන් පදිංචි කර තිබේ. මේ වනවිට බලාගාරය හා ජලාශය අවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතුවලට අනුව රක්ෂිත ප්‍රදේශයන්ගේ ද වාසස්ථාන ඉදිකිරීම් සිදුවී ඇති බවත්, එයින් සමහරක් ඉදිකිරීම් හේතුවෙන් ජලාශයට මෙන්ම බලාගාරයට යම් යම් බලපෑම් ඇතිවිය හැකි බවත් කරුණු අනාවරණය වී තිබේ. එබැවින් එවැනි ස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු නොකළයුතු බව, මෙම සාකච්ඡාවට සහභාගී වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අදහස් දක්වන ලදී.

    ඒ අනුව එම අනවසර ඉදිකිරීම් පිළිබදව කඩිනම් අධ්‍යයනයක් සිදුකර, පවරා දියහැකි තත්ත්වයේ පවතින ඉඩම්වල හිමිකාරීත්වය එම ඉදිකිරීම් හිමිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යතුමන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මාස 03 ක් ඇතුළත අදාළ මැනුම් කටයුතු සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම්දෙන ලදී. එසේම ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය පාරම්පරික ඉඩම් හිමිකාරීත්වය අහිමිවූ මෙම ජනතාව වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට සහභාගී වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසා සිටියේ, වසර 80 කට අධික කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ජීවත්වූ මෙම ජනතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර, ලබාදිය හැකි මට්ටමේ පවතින ඉඩම් ඔවුන් වෙත පවරාදීමට කටයුතු කරන ලෙසත්‍, ඒ වෙනුවෙන් යම් ගෙවීමක් සිදුකළ යුතුනම්, එය දන්වන ලෙසත්ය.

    Latest News