මෙරටින් ගෙනගිය හෙළ වෙදපොත් නැවත ගෙන ඒමට රාජතාන්ත්‍රිකමය වැඩපිළිවෙලක්

පෙබ 25, 2021

    යටත්විජිත සමයේ අප රටින් බැහැරට ගෙන ගොස් මේ වන විට විදේශයන්හි රදවා තබාගෙන තිබෙන හෙළ වෙද පොත්, පුස්කොළ පොත් සහ දේශීය වෙදකමට අදාල ලේඛන හා ග්‍රන්ථ නැවත මෙරටට ලබාගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) දින එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

    දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් ආයුර්වේද දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සම්බන්ධීකරණය කරගනිමින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස මෙම මූලික සාකච්ඡාව පැවැත් වූ අතර එහිදී නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද තුළ විදේශයන්හි රදවා තබාගෙන ඇති අපගේ දේශීය වෙදකම හා සම්බන්ධ වෙද පොත් හා ලේඛන මෙරටට ලබාගැනීම සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබදව දීර්ඝව සාකච්ඡා කෙරිණි.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,

    බටහිර යටත්විජිත කාලපරිච්ඡේදය තුළ අපේ රටේ දැනුම් පද්ධති සොරකම් කරන් ගියා. ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් ඇතුළු විවිධ ජාතීන් බටහිර බටහිර කෞතුකාගාර තුළ මේ පුස්කොළ පොත්, වෙද පොත් ඇතුළු ග්‍රන්ථ සුරක්ෂිතව තබාගනිමින් ඒවා භාවිතා කර විවිධ දේශීය ඖෂධ නිෂ්පාදනයට උත්සාහයක් දරනවා. අප දේශීය වෛද්‍ය අමාතයංශය විදියට මුලපිරුවා මේ පුස්කොළ පොත් සංරක්ෂිතව මෙරටට ගෙනඒම පිළිබදව. එංගලන්තයේ කෞතුකාගාරයක විතරක් තිබෙනවා හෙළ වෙද ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළත් පුස්කොළපොත් 2227ක්. ඒවා මෙරටට ගෙනඒම සදහා ඒකාබද්ධ රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු වනවා. අප එය ක්‍රියාත්මක කරනවා.

    එමෙන්ම මේ රටේ දේශීය වෙදකම, පාරම්පරික වෙදකම රැකගැනීමේ අරමුණින් අප පසුගිය කාල පරිච්ඡේදය තුළ කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා යැයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    එම සාකච්ඡාමය අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝෂණී හෙට්ටිගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංරක්ෂණ නිලධාරී නිහාල් සින්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ රැසක මාණ්ඩලික නිලධාරීන් සහභාගී වී සිටියහ.

    Latest News