ශ්‍රී ලංකා - පාකිස්ථානු වෙළෙඳ සම්බන්ධතා වර්ධනයට අවබෝධතා ගිවිසුමක්

පෙබ 25, 2021

    වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා පාකිස්ථානු වෙළෙඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් 24 දින වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙම සාකච්ඡාවේදී දෙරට තුළ අපනයන සංවර්ධන මණ්ඩල හරහා සිදු කිරීමට නියමිත වෙළෙඳ කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කරන ලද අතර දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

    පාකිස්ථානයෙන් මෙරටට ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සඳහා දෙරාජ්‍යය අතර ක්‍රියාත්මක වන ණය සහන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද පාකිස්ථානු වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී එකඟ විය.

    මෙහිදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙරටින් පාකිස්ථානයට අපනයනය කෙරෙන බුලත් සහ අනෙකුත් අපනයන නිෂ්පාදන සඳහා එරට තුළ පනවා ඇති තීරු බදු නොවන අනෙකුත් බදු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එහිදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් එම අනෙකුත් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව පාකිස්තානු වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ආයෝජන සිදු කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර පාකිස්ථානය තුළ ස්ථාපිත බෞද්ධ සිද්ධස්ථාන සඳහා සංචාරය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් හට අවස්ථාව සැලසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    වත්මන් රජයේ අරමුණු ඔස්සේ යමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සමඟ ගෝලීය වෙළෙඳපොල අවකාශ නිර්මාණය කරගැනීමටත් එතුළින් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීමටත්, මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානය හා ශ්‍රී ලංකාවේ පවත්නා වෙළෙඳ සම්බන්ධතා මැනවින් යොදාගනිමින් දෙරට අතර නිෂ්පාදන හුවමාරු ක්‍රියාවලියක් සිදු කළ හැකි අයුරු පෙන්වා දෙන ලදී. පාකිස්ථානු වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පාකිස්ථාන රජයේ වෙළෙඳ ප්‍රතිපත්ති අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වැඩි අවකාශයක් සහිත වෙළෙඳපොලක් පාකිස්ථානය තුළ නිර්මාණය කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ද පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා පාකිස්ථානු වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමා , වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    Latest News