හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවට දින නියම කිරීම මාර්තු 10

පෙබ 25, 2021

    2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වන කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

    එහිදී නඩුව නැවත මාර්තු මස 10 වනදා කැදවන ලෙසත් එදින නඩුව විභාග දිනය තීන්දු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ පුදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩු පවරනු ලැබුවා.

    නඩු විභාගය අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනා ඉකුත් 2017 වසරේ නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගත්තා.

    ඉන් අනතුරුව අධිකරණය විසින් ඔවුන්ට වසර 12 කට අත්හිටවූ වසර 02 ක් බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

    එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිලි නොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙනවා.

    Latest News