ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්

පෙබ 25, 2021

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

    වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුව වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

    ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

    පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම ඉකුත් දා අවසන් වීමෙන් පසුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහය 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණා.

    එම ඉල්ලීම පිළිබඳව තීන්දුව ලබාදෙමින් විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News