narcotic නඩුවේ තවත් සැකකරුවෙක් රහස් ප්‍රකාශයක් ලබා දෙයි

පෙබ 24, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශනයේ තවත් සැකකරුවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නඩුවේ 17 වැනි සැකකරු ලෙස නම් කර සිටින ජනක රුවන් අල්විස් නමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාගේ නිල මැදිරියේ දී මෙම ප්‍රකාශය ලබා දුන්නේය.

    පැය එක හමාරකට ආසන්න කාලයක් මෙම රහස් ප්‍රකාශය ලබා දුන් බවයි, අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විදේශවල සිට රැගෙන එන මත්කුඩු තොග මුහුදු මාර්ගයෙන් බෝට්ටු මගින් ප්‍රවාහනය කළේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ දැනුම් දීමෙන් පසුවයි මෙම සැකකරුගෙන් රහස් ප්‍රකාශයක් සටන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍යමන්ත අප්පුහාමි නැමැති තවත් සැකකරුවකු ඊයෙ පැය දෙකකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ දී රහස් ප්‍රකාශයක් ලබාදී තිබිණ.

    Latest News