වෙළදපොළේ හිඟ ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනයට පියවර - ඇමති විමල්

පෙබ 24, 2021

    මේ වනවිට වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට තමන් පියවර ගෙන ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    එම කටයුත්ත සිදු කිරීම වෙනුවෙන් මෙරට ටයර් සමාගම් සියල්ල සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මෙරට පාරිභෝගිකයන් සදහා අවශ්‍යව ඇති විශේෂ ටයර් කාණ්ඩ කිහිපයකම වෙළදපොළේ පවතින හිඟය පිළිබද අධ්‍යයනයකින් පසු ටයර් සමාගම් සියල්ල සමඟ ඒ පිළිබද සාකච්ජා කොට ඉක්මන් විසදුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අදාළ ටයර් කාණ්ඩ එකින් එක ගෙන සාකච්ජා කර දින කිහිපයක් ඇතුළත දැනට වෙළදපොළේ නොමැති ටයර් වර්ග නිෂ්පාදනය කොට වෙළදපොලට මුදා හරින ලෙස අමාත්‍යවරයා පැමිණ සිටි සමාගම් වෙත උපදෙස් ලබා දී තිබේ.

    මෙරට ටයර් නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්‍ය රබර් සීමිත වීම පිළිබදව ද මෙහිදී සාකච්ජා කළ බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකසන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් වීරවංශ ඇමතිවරයා සදහන් කළේය.

    මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරීහු, ටයර් නිෂ්පාදනය කරනු ලබන සමාගම්වල ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

    Latest News