යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේ නතර වෙන්නෙ නැහැ - අගමැති

පෙබ 17, 2021

    යුද්ධය පවතිද්දිත් රටේ සංවර්ධන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කළා මෙන් කොවිඩ් වසංගතය හමුවේදිත් රටේ සංවර්ධන කටයුතු කිසි ලෙසකත් නතර නොකර ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

    වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ මහකිතුල හා මහකිරුළ ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මංසන්ධියේ දී සමාරම්භ කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    මහවැලි ජලය වයඹට රැගෙන එන මෙම දැවන්ත වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් මහකිරුළ හා මහකිතුළ ජලාශ ඉදිකිරීමේ සමරු ඵලකය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නිරාවරණය විය.

    වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 90ක් දිග ඇළ මාර්ගයක්, මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුළ සහ මහකිතුළ ජලාශ දෙකක්, උමං ජල මාර්ග පහක් මඟින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබාදීමට අපේක්ෂිතයි.

    ව්‍යාපෘතියේ වාර්ෂිකව ජලය අක්කර අඩි 105000 ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට හරවා යල-මහ දෙකන්නයේම වගා කටයුතු සඳහා ගොවිබිම් හෙක්ටයාර 13000 කට වාරි ජලය සපයමින් දැනට පවතින වකුගඩු රෝගයට හේතුවන පානීය ජල ගැටලුව අවම කිරීම වෙනුවෙන් වාර්ෂිකව ජලය අක්කර අඩි 8100 ක් ද මෙහි ඉලක්ක ප්‍රදේශවලට සපයාදීම සිදු වේ.

    වසර 3ක් වැනි කෙටි කාලයක් තුළ වැඩ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් වියදම රුපියල් බිලියන 10.8 කි.

    මෙයට මසකට පමණ පෙර අග්‍රාමාත්‍යතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හිමිකම් ගැටලු නිරාකරණය කිරීම සංකේතවත් කරමින් මෙම උත්සවයට සමගාමීව අග්‍රාමාත්‍යතුමා අතින් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය සිදුවිය.

    සරත් කුමාර, ඒ.එම් ජයරත්න බණ්ඩා, ජේ.එම් දයාරත්න මහත්වරු හා ජේ.එම්.අයි සඳමාලි දායාරත්න සහ කේ. යසෝ මහත්මීහු මෙහිදී අග්‍රාමාත්‍ය අතින් ඉඩම් හිමිකම් ඔප්පු ලබා ගත්හ.

    මෙයට අමතරව කොවිඩ්-19 හමුවේ වයඹ පළාතේ පෙර පාසල්වල දරුවන්ගේ ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ හා ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යතුමා එක් විය.

    Latest News