ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද (28) ශ්‍රී ලංකාවට

ජන 28, 2021

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    එන්නත් රැගත් ගුවන් යානය අද පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තාවේ. මෙය ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට දෙන බව කොවිඩ් එන්නත සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මේ එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ නිෂ්පාදනය කරනු ලබයි.

    එය ඉන්දීය ගුවන් සේවයට අයත් A I 281 දරන ගුවන් යානයෙන් මේ එන්නත් තොගය මෙරටට රැගෙන එයි. කිලෝග්‍රෑම් 1,323ක් බරැති මේ එන්නත් තොගය ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ රැගෙන ඒමට නියමිතව තිබෙන අතර පසුව එම එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට සැලසුම් කර තිබේ. මේ එන්නත මෙරටට ලැබුණු විගස කටුනායක ගුවන්තොටුපොළේ සිට ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති ශීතාගාර වෙත දෙන අතර මෙරට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගබඩා පහසුකම් යටතේ ගබඩා කර තැබීමටද නියමිතව ඇත. මේ එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක පවත්වා ගත යුතු අතර ඒ සඳහා මෙරට සෞඛ්‍ය අංශවල පහසුකම්ද පවතී.

    එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබඳ විශේෂ අවධානය දෙනු ලබන අතර මෙහිදී ප්‍රධාන කොට්ඨාස තුනක් පිළිබඳ අවධානය යොමු කෙරේ. එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින්නේ මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයයි. එක් ලක්ෂ පනස්දහසක් (150,000) පමණ පිරිසක් දෙවැනි පෙළට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක අංශවල සිටින එක් ලක්ෂ පහළොස්දහසක් - එක් ලක්ෂ විසිදහසක් (115,000 – 120,000) පමණ පිරිසක් අයත් වේ.

    ප්‍රමුඛතා ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ලක්ෂ 34ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය. නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් හට ප්‍රමුඛතාව හිමි වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 09:18

    Latest News