“නැත්ත වෙනුවට ඇත්ත“ තීන්දුවට එරෙහි අභියාචනයක්

ජන 24, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට දුන් නියෝගය අහෝසි කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළේය.

     විමල් වීරවංශ මහතාගේ නීතීඥයින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා අද කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කරනු ලැබිණ.

    අභියාචනා අයදුම්පතින් පවසා සිටින්නේ "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලේඛණ යොදා ගැනීම තුළින් බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත්දා තමාට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති බවයි. එම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන මෙන් එම නඩු තීන්දුවෙන් නියෝගයක් කෙරුණු බව ඔහු කියා සිටියි.

    නිසි කරුණු හැදෑරීමකින් තොරව වානිජ මහාධිකරණය එම තීන්දුවට එළඹ ඇති බවත් එම තීන්දුව දෝෂ සහිත යැයි ඔහු ප්‍රකාශ කරයි. එ අනුව වාණිජ මහාධිකරණ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News