තෙල් නළය උඩ සිටි පිරිසට යහපාලනය හැන්දෙන් බෙදයි

ඔක් 23, 2018

    කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව පවුල් වෙත නිවාස ලබා දීම අද සිදු කෙරිණි. කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ගෙන යන නළ පද්ධතිය වසර 70ක් පමණ පැරණි වේ.

    ඒ හේතුවෙන් ඉන්ධන ගෙනයාම සඳහා අඟල් දොළහේ නව නළයක් එළීමේ ව්‍යාපෘතිය ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ආරම්භ කර තිබේ. එහි අවසන් අදියර ක්‍රියාත්මක මහවත්ත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව පවුල් වෙත නිවාස ලබා දීමේ පළමු පියවර අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    තෙල් නළය ආශ්‍රිතව අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනා ඉවත් කරන ලෙසට උසාවි තීන්දුවක් ඇතිමුත් වත්මන් රජය මෙම ප්‍රශ්නය දෙස මානුෂිකව බලන බව අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දුනී.

    අමාත්‍ය අර්ජුන රණතුංග - “ඔබ සියලු දෙනා තමයි මේ බටේ උඩ ජිවත්වුණු අය. මට එක වෙලාවකට හිතුණා ගිනිගොඩක් උඩ ඔබ සියලු දෙනා කොහොමද හිටියේ කියලා. ඔබගේ වාසනාවටත් රටේ වාසනාවටත් මේ බටේ පත්තු වෙන්නේ නැතිව ඇති. මේ බටේ පත්තු වුණානම් මුළු කොළඹම අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්න තිබුණා. නමුත් අද අපි සැලසුම් සහගතව නිසි ක්‍රමවේදයක් යටතේ මේ බටය උඩ අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනා නැවත වෙනත් ස්ථාවල පදිංචි කිරීමට කටයුතු කරනවා. පසුගිය ආණ්ඩු කාලේ නම් රෑට ඇවිල්ලා පැය ගාණක් යන්න කලින් ඔබට ගහලා ඉවත් කරනවා. ඔබ සියලු දෙනාටත් වෙන්නේ පාරේ අඬ අඬා ඉන්න. නමුත් අපේ ආණ්ඩුව එහෙම කළේ නැහැ. අපි ඔබ සියලු දෙනාම අතරමං කරන්නේ නැතිව සාධාරණ ලෙස නිවාස ලබා දෙමින් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ නළය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පවුල් 419ට නිවාස ලබා දෙන බවයි.

    Last modified on අඟහරුවාදා, 23 ඔක්තෝබර් 2018 18:54

    Latest News