කටුනායක ගුවන්තොටුපොල පුළුල් කිරීමේ II වන අදියර ඇරඹෙයි

නොවැ 16, 2020

    මේ වසර තුළ මෙරට ඇරඹෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ II වන අදියර ලබන බදාදා (18) ඇරඹෙයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය හා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ වර්තමාන මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගීන් මිලියන 06කි. වාර්ෂිකව හසුරුවන නිල මගීන් සංඛ්‍යාව මිලියන 15 දක්වා වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ අනුව ගුවන්තොටුපොලේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුලුල් කෙරෙනු ඇති.

    මෙම ව්‍යාපෘතිය සදහා ජපන් රජය යෙන් මිලියන 74397ක ණය මුදලක් පිරිනමා තිබේ. ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගම මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 21,645කි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් “අ” සහ “ආ” පැකේජ දෙකක් යටතේ සිදු කෙරෙනු ඇත. “අ” පැකේජය සදහා වැය කරන මුදල රුපියල් බිලියන 108කි. වසර 03කින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

    පළමු අදියර (අ පැකේජය) යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල හා සම්බන්ධ ගොඩනැගිලි, මගී පාලම්, වැසි ජල ආපහරණ පද්ධතිය, උස් කරන ලද මාර්ග, විදුලි බලය, ජල සැපයුම් හා අප ද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, දහන යන්ත්‍ර හා සංයුක්ත යන්ත්‍රෝපකරණ, මහල් 5කින් යුත් රථ ගාලක්ද ඉදිකෙරේ.

    මෙහි දෙවන අදියර යටතේ (ආ පැකේජය) යන්ත්‍රාංගනය, ප්‍රවේශ මාර්ගය, රැදවුම් පොකුණ, වැසි ජල අපහරණ පද්ධතිය ඉදිකෙරෙන අතර එම සංවර්ධන කටයුතුවලින් 80%ක් පමණ මේ වන විට අවසන් කර තිබේ. මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 06කි.

    2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිරිකිරීම් ආරම්භ කෙරුණද දෙවන අදියරේ ඉදිරිකිරීම් පසුගිය යහපාලන රජය අතහැර දමා තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම්‍නේ පසුව සංචාරක හා ගුවන්සේවා ඇමතිධූරයට පත්වූ ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙහි ඉදිකිරීම් යලි ආරම්භ කිරීම සදහා වන පදනම සකස් කෙරිණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ සදහන් කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බවට සදහන් ප්‍රකාශය ඉටුකිරීම සදහාය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව මෙම ඉදිකිරීම් ඇරඹෙන්නේ ඒ අනුවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම ඉදිකිරීම් නියමිත කාලය තුළ අවසන් කරන ලෙස අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී ඇති බවයි. මේ පිළිබඳ පූර්ණ අධීක්ෂණයක නිරතව නියමිත කාලයේ දී මෙය අවසන් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගාමට උපදෙස් දුන් බවද ඇමතිවරයා කියයි.

    Latest News