රුසියා ZF ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය (වීඩියෝ)

නොවැ 03, 2022
  • රුසියානු ජාතිකයින් 335 දෙනෙකු රැගත් ඉසෙඩ් එෆ් -1611 ගුවන් යානය මොස්කව් නුවර සිට අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

    මෙම ගුවන් යානය අයත් වන්නේ, රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන 'අසූර්' ගුවන් සේවයටයි. එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. රුසියානු ජාතිකයන් 335 දෙනෙකු රැගත් යානය උදේ 9.45 ට කටුනායකට පැමිණි අතර, එහිදී සාම්ප්‍රදායික ජල ආචාර පිරිනමමින් යානය උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

    පිරිස පිළිගැනීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

    අද සිට ශ්‍රී ලංකාව වෙත සිය සේවා ක්‍රියාත්මක කරන අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානා සෙන් පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්, නොවෝසර් සර්බියක්, යන නගරවල සිට දින 10 කට වරක් මෙරටට සංචාරකයින් රැගෙන ඒමට නියමිතයි. මොස්කව් නගරයේ සිට සතියකට දින දෙකක් එම ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

    ඉදිරි‍ දිනවලදී රුසියානු සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින අතර, මසකට 8500 ක පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.  ශීත සෘතු සමයේ මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂිත සංචාරකයින් සංඛ්‍යාව හතළිස්හත්දහසක්.

    ඉකුත් වසරේදී වසර පුරා සංචාරකයින් එක්ලක්ෂ 94,495 ක් මෙරටට පැමිණ තිබෙනවා.  මේ වසරේ පසුගිය ඔක්තෝබර් 31 දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව පන්ලක්ෂ 68,258 ක්.  ඔක්තෝබර් මාසයේ පමණක් සංචාරකයින් 42,026 දෙනෙකු පැමිණියා.

    ඉකුත් වසරේ ඔක්තෝබර් හා සසඳන විට එය 19,255 කින් වර්ධනය වී තිබෙනවා.  මේ මාසයේ සිට සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.  ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ජාතික ගුවන් සේවයද හෙට සිට ශ්‍රී ලංකාව සමග සතිපතා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.   

    ස්විස් එයාර් ගුවන් සේවය ලබන 10 වැනිදා සිට ලබන වසරේ මැයි දක්වා සතිපතා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ, යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙරට ආර්ථිකයට කැපී පෙනෙන පිටිවහලක් සැලසෙන බවයි

    Last modified on බ්‍රහස්පතින්දා, 03 නොවැම්බර් 2022 20:33

    Latest News