විල්පත්තු කැළෑ හෙළි කර ජනාවාස සෑදීම නීතිවිරෝධී බවට තීන්දු කරයි (වීඩියෝ)

නොවැ 16, 2020
  • විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව අද(16) ප්‍රකාශයට පත් කර තිබේ.

    ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

    හෙළි පෙහෙළි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය විසින් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වෙත තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

    ඊට අමතරව පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර ඇත.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 ක් හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ.

    එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

    මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් 2019 වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර කළේය.

    ඒ අනුව අදාළ පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීම සිදු විය.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 19:39

    Latest News