විල්පත්තු නඩු තීන්දුවට එරෙහිව රිශාඩ් බදියුදීන් ඉදිරිපත් කළ අභියාචනය කැඳවීමට දින නියම වෙයි

ඔක් 22, 2021

    විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ හෙළි කොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන බවයි.

    විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළි පෙහෙළි කොට අනවසර ඉදිකිරීම්ඩ ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිශාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

    එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාල වනාන්තර එළි පෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

    එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවට ද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වුණා.

    එම අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව සිදුකර තිබේන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News