රිෂාද් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

සැප් 21, 2021

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

    ඉන් අනතුරුව සැකකාර බදියුදීන් මහතා ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥ වරු විසින් මීට පෙර දින අධිකරණය හමුවේ අප ඉල්ලීමක් ගොනු කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ රටේ වර්තමානයේ පවතින තත්වය මත තමන්ට රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට නොහැකි වූ බවත් රජයේ නීතිඥ වරයෙකුගේ සහය ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

    ඒ අනුව පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 05 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම කරුණු දක්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයා ව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නොමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" නැමැති තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

     

    Latest News