ශ්‍රි ලංකාවට ADB සභාපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

ජන 17, 2019
  • ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ එකඟවි තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී, සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළකර ඇත.

    මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ‍්‍රී ලංකාවට සැපයීමට එකගතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලූනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙනි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපයට ආර්ථික සහයෝගය සැපයීමේ ප‍්‍රතිපත්ති රාමුව තුළ මෙම එකඟතාවය පළ වී තිබේ. විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් පිරිනැමේ. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක‍්‍රමයකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ලබාදීමට ද එකඟවි ඇත.

    මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා අතර අත්සන් කෙරිණ.

    ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බව ජනාධිපතිතුම අදහස් දක්වමින් අවධාරනය කර සිටියේය. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව ජනාධිපතිතුමා පෙන්වා දුනී. ඒ සඳහා වු වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේය. ශ්‍රි ලංකාවට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම පිරිනැමීමේ හැකියාව සොයා බලන බව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාව නියඟය සහ ගංවතුරෙන් පීඩාවට පත්වන අතර ඊට මුහුණදීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය. දේශගුණික හා කාලගුණික විපර්යාස වලින් ශ‍්‍රී ලංකාවට වන හානි අවම කිරිමේ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.

    තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා පැහැදිළි කළ අතර වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කටුයුත්තක් බව සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්ක මුළුමනින්ම සම්පූර්ණ නොවුණත් ශ‍්‍රී ලංකාවට හොඳ ආර්ථික වර්ධන වේගයක් අතකර ගැනීමට එයින් හැකියාව ලැබී තිබෙන බවයි.

    බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත‍්‍රවලට ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව ඉදිරියටත් සහය ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා පෙන්වා දුනි. වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී සහය දැක්වීමට අපේක්ෂා කරන බව කියා සිටියේ ය. කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය කිරිමේ හැකියාව ඔහු අවධාරනය කළේය. ඒ වෙනුවෙන් විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පැවසීය.

    අද ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ලබා ඇති ප‍්‍රගතිය ඇගැයීමට ලක් කළ සභාපතිවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබදව ද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව සඳහන් කළේය.

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා විසින් දැනුවත් කළ අතර ශ‍්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 28 - සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවත් කියා සිටියේය. තමන් පරිසර අමාත්‍යවරයා ලෙස පැරිස් සමුළුවේ දී කථා කළ බවත් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාගේ අවධානය යොමු කළේය. ශ‍්‍රී ලංකාවේ බෝග වගාවට සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිතුමා සභාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

    අඩ සිය වසකට වැඩි කාලයක (1966) පටන් ශ‍්‍රී ලංකාව සමග ඉතා ශක්තිමත් හවුල් සබඳතාවයක් ගොඩනගා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කලාපයේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමි වන සහයෝගය ඇගැයීමට ලක් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ තකෙහිකෝ නාකා ඕ මහතා තමන් ශ‍්‍රී ලංකාවේ අවස්ථා කිහිපයකදී ම සිදු කළ සංචාර පිළිබඳ සිහිපත් කරමින් කියා සිටියේ ත‍්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමෙන් පසු මේ වන විට ශ‍්‍රී ලංකාව ලබා ඇති පර්වර්තනය පිළිබඳ සතුටු වන බවයි. අද ආසියාවේ සංචාරයට සුදුසු රටවල් දෙක තුනක් අතරින් ශ‍්‍රී ලංකාව එක රටක් බව ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා සඳහන් කළේය.

    president1 px 900 19 01 17

    president34 px 900 19 01 17

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 10:36

    Latest News