සබරගමුව වෛද්‍ය පීඨය සිසු අයිතියට (වීඩියෝ)

ජන 17, 2019
  • සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරේ.

    මෙය, මෙරට 10 වැනි වෛද්‍ය පීඨය වන අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ 8වැනි පීඨයයි. රත්නපුර, කුරුවිට, බටුහේන ප්‍රදේශයේ අක්කර 20ක භූමියක නව වෛද්‍ය පීඨය ස්ථාපනය කර තිබේ. ඊට 2018 වසරේ අය-වැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 2000කි.

    වෛද්‍ය පීඨය අතිනවීන පහසුකම් හා තාක්‍ෂණයෙන් යුක්තයි. රසායනාගාර, දේශන ශාලා මෙන්ම, අංග සම්පුර්ණ නේවාසිකාගාරයක් ද ඊට අයත්. වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් 75 දෙනෙකු, 2017 උසස් පෙළ විභාගයෙන් තෝරා පත්කර ගෙන ඇත. දැනට වසරකට වෛද්‍ය විද්‍යාල සඳහා තෝරාගනු ලබන සිසුන් සංඛ්‍යාව 1,480 දෙනෙකි.

    වෛද්‍ය පීඨයේ සමරු ඵලකය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා, එහි නිරීක්‍ෂණ චාරිකාවක ද නිරතවිය. ඊට අයත් ගොඩනැගිලි සහ ඉඩම් සබරගමු විශ්ව විද්‍යාලයට පවරාදීම ද මෙහිදී සිදු කෙරිණ.

    මෙහිදී වෛද්‍ය සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....“2015-2018 වෙනකම් මේ අවුරුදු 04 අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට විතරක් පළාත් සභා නැතුව අපි බිලියන 635ක් වියදම් කරලා තියෙනවා. ඒ අවුරුදු කිහිපයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය පළාත් සභා ගන්නේ නැතුව බිලියන 690ක් වියදම් කරලා තියෙනවා. මෙහෙම වියදමක් කොහෙවත් සිදුවෙලා නැහැ. සමාජවාදය කියන්නේ තමන්ට තමන්ගේ ස්වශක්තියෙන් නැගිටලා ඉන්න අවස්ථාව තියෙන එක.

    එහෙනම් නිරෝගිභාවයයි, අධ්‍යාපනයයි තියෙනවනම් ඔය සටනින් සියයට 60ක් 70ක් ඉවරයි. මේ වියදම් කරලා තියෙන සංඛ්‍යාව ජාතික ආණ්ඩුවෙන් කිසිම ආණ්ඩුවක් වියදම් කරලා නැහැ. අනෙක් අය කතා කරනවා කප්පාදුව කියලා. මේක ද කප්පාදුව හුඟක් අය හිතුවා මේක කරන්න බැහැ කියලා. මොකද අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අපි ගෙවන ණය මීට වඩා වැඩියි. මේ ණය ගෙව්වායින් පස්සේ මොනව ද කරන්න පුලුවන් කියලා ඇහුවා. ඔන්න අපි ණයත් ගෙවලා අපිට පුලුවන් වෙලා තියෙනවා අධ්‍යාපනයයි, සෞඛ්‍යයයි දියුණු කරන්නයැයි“ මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    මීට අමතරව, මොරටුව සහ වයඹ විශ්වවිද්‍යාලවල ද නව වෛද්‍ය පීඨ ස්ථාපනය කිරීමට නියමිතයි. ඊට අදාළ රෝහල් ද සංවර්ධනය කරන බව, රජය පවසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි, ප්‍රධාන පීඨාධිපතිවරුන් ද අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් ද උත්සවයට සහභාගි වූහ. අග්‍රාමාත්‍යවරයා නව වෛද්‍ය සිසුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

    රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් බවට පත්කිරීම අද උදේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. නව වෛද්‍ය පීඨයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව මෙම රෝහල තුළින් ලබාදීම සිදු කෙරේ. රෝහලේ මහාචාර්ය ඒකකයක් මේ වසර තුළ ස්ථාපනය කිරීමට නියමිතයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 10:48

    Latest News