ජනපති පිලිපීනයේ නිළ සංචාරයකට පිටත්ව යයි

ජන 15, 2019

    පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි.

    පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වේ. දීර්ඝ කාලක් පවතින සබඳතා අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ අරමුණු කරගනිමින් නව ක්ෂේත‍්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වනු ඇති.

    මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට එක්වන ජනාධිතිතුමා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා සමඟ ද සාකච්ඡා පවත්වන බව ජනාධිපති මාධ්‍ය එකකය කියා සිටි.

    ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා මුලින්ම ඇරඹෙන්නේ 1961 වසරේ දී ය. 1978 වසරෙන් පසුව ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා ලැබෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. 2019 වසරේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පළමු විදේශ සංචාරය මෙය වන අතර පිලීපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි. ජනාධිපති වෙත ගෞරවණීය පිළිගැනීමක් ලබාදීමට පිලිපීන රජය සියලූ කටයුතු සුදානම් සිටි.

    ලෝකයේ සියලූ රටවල් සමග මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමට ජනපතිගේ මිත‍්‍රශිලි විදේශ පිළිවෙතේ තවත් සුවිශේෂි සංචාරයක් ලෙස මෙම සංචාරය සනිටුහන් කෙරෙනු ඇත.

    Latest News