දුර්ලභ මසුන් ජාවාරමක තොරතුරු හෙළිවේ

ජන 15, 2019

    ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ දුර්ලභ මත්ස්‍ය තොගයක්, ඊයේ (14) කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කල්පිටිය, උච්චිමුණේ දූපත ආසන්න ඔත්තුප්පනඩිය අසල තිබියදී සොයාගත් මත්ස්‍ය තොගය සමග සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    මත්ස්‍ය තොගය අතර වියළන ලද මෝර වරල් කිලෝ ග්‍රෑම් 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන පයිප් ෆිෂ් (pipe fish) හෙවත් මුහුදු බූරුවන් කිලෝ ග්‍රෑම් 130 ක් තිබී ඇත.

    මෙම මෝර වරල් සහ මුහුදු බූරුවන් ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට අපනයනය කිරීමට තිබී ඇති අතර යුරෝපීය රටවල ආහාර සඳහා සහ සැත්කම් සඳහා මේවා යොදා ගන්නා බව පොලිසිය පවසයි.

    1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය අනුව පොල් කොළ මෝරා සහ මිණි මුතු මෝරා ගේ වරල් සන්තකයේ තබා ගැනීම තහනම් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

    සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 15:39

    Latest News