විමල්ගේ ප්‍රකාශය නීතිඥ සංගමය හෙළාදකී

ජන 14, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හෙළා දකින බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුළාවී කරන ලද ප්‍රකාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සෘජුවම අපහසයක් සිදුවී ඇති බව එම සංගමය පවසයි. ඔහුගේ ප්‍රකාශයෙන් අධිකරණයේ මුදුන් මල්කඩවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විවේචනය කිරීම හරහා අධිකරණයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සභා වාරය අතරතුර ප්‍රකාශ කර ඇත්තේ “ ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියකගේ ගුහාවක් බවයි“. ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයින්ගේ නම් පමණක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය චෝදනා කර සිටී.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර ගණනාවක පත්වීම් සළකා බැලීමේ දී එම ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පැහැදිලි වන බවයි. 
    පසුගිය 08 වැනිදා රැස්වූ ව්‍යස්ථාදායක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට අනුමැතිය ලබාදෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය


    මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පත්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකී.

    2019.01.10 වන දින පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව කර ඇති ප්‍රකාශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකියි.

    පාර්ලිමේන්තු විවාදයක් අතරතුර දී වීරවංශ මන්ත්‍රීවරයා විසින් “ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක ගුහාවක්“ බව ප්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයන්ගේ නම් බවය. නමුත් පසුගිය වසර ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව සලකා බැලීමේදී එම ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පැහැදිලිය.

    වීරවංශ මන්ත්‍රීතුමා විසින් කරන ලද ඉහත ප්‍රකාශය හේතු කොට ගෙන අධිකරණයේ මුදුන් මල්කඩ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විවේචනය කිරීම හරහා අධිකරණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇත. අධිකරණ විනිසුරුතුමන්ලාගේ ආගම හෝ ජාතිය පිළිබඳව විවේචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරෙන අසාධාරණ පහරදීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ ප්‍රකාශ කර සිටිමු. මහජන නියෝජිතයන් සහ දේශපාලඥයන් හට අධිකරණය විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් ඇති නමුත් දැඩි ලෙස අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම අධිකරණයේ ස්වෛරීභාවය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි දැඩි බලපෑමක් වේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුලදී, පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති නිසා ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද, මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බව ද ප්‍රකාශ කර සිටියි.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 20:42

    Latest News