ත්‍රිපිටක ලෝක උරුම යෝජනාවට කැබිනට් අනුමැතිය (වීඩියෝ)

ජන 14, 2019
  • ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනාව ඉදිරිපත් කළේය. යෝජනාව ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාදි ත්‍රිපිටකය පසුගියදා ජාතික උරුමයක් ලෙස නම් කළේය.

    එම අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දෙමින් කියා සිටියේ, ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තම උපරිම දායකත්වය ලබාදෙන බවයි.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්විය. එහිදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිවිය. ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ද නියමිතයි.

    මේ අතර, ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම පිළිබඳව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ දැනුවත් කෙරෙති. ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

    ථෙරවාද බෞද්ධ ආගමික රටවල් 14ක තානාපති කාර්යාල නියෝජිතයෝ සාකච්ජාවට සහභාගි වූහ. ජනාධිපතිතුමාගේ අදහස පිළිබඳව ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ. ඒ වෙනුවෙන් ඕනෑම සහයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබාදෙන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 09:11

    Latest News