වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා නීතිඥ සංගමයෙන් පෙත්සම් දෙකක්

මාර් 25, 2022

    වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකර තිබෙනවා.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ලේකම් රජීව අමරසූරිය, භාණ්ඩාගාරික රජින්ද පෙරේරා, නියෝජ්‍ය ලේකම් පසිඳු සිල්වා යන අය විසින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, භාණ්ඩාගාර ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු 42 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටින්නේ වර්තමානයේ රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදකාරි තත්වය හේතුවෙන් මහජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බවයි.

    ඛනිජ තෙල්, විදුලිබලය, ගෑස්, ආහාර, ඖෂධ, පිටිකිරි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර සංගමය මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටින බවත් පෙන්වා දෙනවා.

    මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එබැවින් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සේ සැලකෙන ආහාර, ගෘහස්ථ ගෑස්, පිටිකිරි, විදුලිය, ඖෂධ වැනි ද්‍රව්‍ය හිඟයකින් තොරව සහ සහනදායි මිල යටතේ අඛණ්ඩව මහජනයා වෙත සපයා දීමට හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන මෙන් ද මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ආර්ථික විශේෂඥයින්, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ සාකච්ඡා කොට වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ඉවහල් කර ගත හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.

    මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හා ව්‍යාපාරිකයින්ට සහන සැලසිය හැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස මෙහි තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඊට අමතරව දේශීය කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදනය, සත්ව නිෂ්පාදන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News