මිල අධික මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමඟ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට

සැප් 29, 2020

    “මැන්ඩි” නමැති මිල අධික මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමඟ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින්, ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.

    වැටලීම සිදු කෙරුණේ, අවිස්සාවේල්ල කලුඅග්ගල ප්‍රදේශයේදී.

    කලුඅග්ගල සිට ලබුගම දෙසට ධාවනය කෙරුණු මෝටර් රථයක් ක්‍ෂණික මාර්ග බාධකයක් යොදා පොලිස් බාරයට ගෙන පරීක්‍ෂා කිරීමේ දී මැන්ඩි මත්ද්‍රව්‍ය පාර්සලය හමුවී තිබේ.

    ඒවා ලැබුණු ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමේදී පහත්ගම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කලේය. ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයෙකු මෙම මත්ද්‍රව්‍ය අදාළ සැකකරුවන්ට ලබාදී ඇති බවයි. සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වෙන මත්ද්‍රව්‍ය සාද සඳහා මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය යොද ගන්නා බව පැවසේ. සැකකරුවන් සතු ජංගම දුරකතන කිහිපයක් ද බොලිස් බාරයට ගෙන තිබේ.

    හෙරොයින් ග්‍රෑම් 11ක් සමඟ පුද්ගලයෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුවයි. ඔහු අවිස්සාවේල්ල “ගවුස්” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයකයෙකු බව පොලිසිය පවසයි. එම තැනැත්තා කටයුතු කර ඇත්තේ, ත්‍රි රෝද රථ රියදුරෙකු ලෙසයි. “ගවුස්” නමැති ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගෙන ඇති මෙම සැකකරු, බොරැල්ල සහ අවට ප්‍රදේශවල අලෙවියේ යෙදී ඇති බව, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය හෙළිකර ගෙන තිබේ.

    ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන ජාවාරම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු වැල්ලවාය, ඌව-කුඩාඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. හෙරොයින් ග්‍රෑම් 6යි, මිලිග්‍රෑම් 750ක් ඔවුන් සන්තකයේ තිබූ බව ඌව-කුඩා ඔය පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ සිට හෙරොයින් ඇසුරුම් මෙලෙස සඟවාගෙන බස් රථයකින් පැමිණ ඇති බව හෙළි වී ඇත. කුඩා ඇසුරුම් සියයක් මෙලෙස සොයා ගැණින. ඔවුන් සතු ජංගම දුරකතන සහ බැංකු කාඩ්පත් කිහිපයක් ද පොලිස් බාරයට ගැණින.

    හෙරොයින් ග්‍රෑම් 5ක් සමඟ අඹු-සැමි යුවලක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. වැටලීම සිදු කර ඇත්තේ, මීට සති දෙකකට පෙර හෙරොයින් ග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් තිදෙනෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙලි වූ තොරතුරුවලට අනුවයි. රන්මුතුගේ සඳමාලි සිල්වා නොහොත් සාලමුල්ලේ සඳා ලෙස මෙම කාන්තාව හැඳින්වෙන බව, කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශ කලේය.

    ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ගුලි 10,175ක් සමඟ වෙළෙඳසැල් හිමිකරුවෙකු මතුගම, නෑබඩ නගරයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, තෙබුවන පොලිසිය විසින්. පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් මේවා අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.

    වෙළෙඳ සැලේ උඩුමහලේ සිවිලිමේ සහ තවත් ස්ථාන කිහිපයක මත් ගුලි සඟවා තිබූ අතර, සැකකරු, මීට දින කිහිපයකට ඉහත දී ද මත්ගුලි අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩගුවට ගනු ලැබ සිටි අයෙක්.

    මන්නාරම, කොන්ඩච්වි ප්‍රදේශයේ සඟවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 946ක් සමඟ සැකකරුවෙකු සිය බාරයට ගැනිමට යුද හමුදා භට පිරිසක් අද සමත්විය. 54 සේනාංකය යටතේ ක්‍රියාත්මක 8 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් සහ තුන්වැනි කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් අද පෙරවරුවේ එම ප්‍රදේශවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

    කමාන්ඩො භට පිරිස් දැක, පලායාමට තැත් කළ පුද්ගලයෙකුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීමකදී කහ තොගය පිළිබඳ තොරතුරු හෙලිකර ගැනිමට හැකිවිය. එහි වටිනාකම, රුපියල් තිස් හත් ලක්‍ෂයක්. කහ තොගය සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.

    Latest News