පාස්කු ප්‍රහාරය මෙන්ම එජාපය විනාශ වීම ගැන ආචාර්ය විජේදාස කියූ දේ (වීඩියෝ)

සැප් 29, 2020
  • මෙරට පුද්ගලයින් අයි එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිලිබඳ එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම්, පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම සහ එක්සත් ජාතික පක්‍ෂය විනාශවීම ද වළක්වා ගත හැකිව තිබූ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියේය.

    මේ අතර, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබූ බවට තමන් විශ්වාස කරන බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා, කොමිසම හමුවේ කළ සාක්‍ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කර තිබූ ඉල්ලීමකට අනුව, ඔවුන් දෙදෙනාට මෙම කැඳවීම සිදුකර තිබිණ. එහිදී, මුජිබර් රහුමාන් මහතා කළ කෙටි සාක්‍ෂි ලබාදීමකින් පසු විජයදාස මහතා, ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

    එහිදී ඔහු පැවසුවේ “පාස්කු ප්‍රහාරයට මාස 30කට පෙර තමන් පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නම්, මෙවැනි විශාල මිනිස් ඝාතනයක් වළක්වා ගැනීමට හැකිව තිබුණා නොවේද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින්, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, “ඔබතුමා විතරක් නෙමෙයි, අන්තවාදය ගැන කිව්වේ....දිගන සිදුවීමෙන් පස්සේ මමත්, සහරාන් ගැන පොලිසියට පැමිණිලි කළා.

    ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙයි, මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ, ඔහු සහරාන් අල්ලන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා කියලා.

    අන්තිමට මොකද වුණේ? නාමල් කුමාර කියල කෙනෙක්ව දාලා, සහරාන්ව අල්ලන්න ගිය නාලක ද සිල්වා අල්ලලා හිරේ දැම්මා. අන්න ඒකයි මම කියන්නේ, අදෘශ්‍යමාන බලවේගයක් සහරාන්ව බේරගන්න වැඩ කළා“ යැයි මුජිබර් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    “මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ නිසා, සහරාන් මේක කළේ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේකෙන් මුස්ලිම් ජනතාවට වුණු සෙතක් නැහැ. සමාජයෙන් කොන්වුණ එක ඇරෙන්න“ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසුවේය.

    ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් කියා සිටියේ, “මම මගේ දරුවාව, මුස්ලිම් පාසලකට දාලා තිබුණේ නැහැ. සහජීවනය ඉගෙන ගන්න, කොළඹ ජාතික පාසලකටයි, දාලා තිබුණේ. නමුත්, මෙම සිදුවීමෙන් පස්සේ, දරුවා සති දෙකක් ඉස්කෝලෙ ගියේ නැහැ. මොකද, ඉස්කෝලේ ගියාම අනෙක් ළමයි කොන් කරනවා. අන්තිමට මට මගේ ළමයගේ ඉස්කෝලේ මාරු කරන්නත් වුණා.

    අන්න ඒකයි මම කියන්නේ, මේ වැඩේ සහරාන් කළේ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. වෙන කාගෙහරි වුවමනාවකට. මම මේ හොයන්නේ, ඒ කවුද කියලයි“ යනුවෙන්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    “අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මාත් එක්ක තිබුණු රූපවාහිනී විවාදයකදී කිව්වා, අපි පොට්ටු අම්මාන්ට නෙමෙයි, සහරාන්ටත් පඩි ගෙවලා තියෙනවා කියලා. ඒ කියන්නේ සහරාන් 2015ට පෙර සිට ඉඳලා තිබෙනවා.

    මම සැකකරනවා, මේ ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ඉන්නවා කියලා. මෙවැනි මිලේච්ජ දරුණු ප්‍රහාරයක් කරන්න ශක්තිමත් බලවේගයක් පිටුපස නොහිද බැහැ“ යැයි මන්ත්‍රීවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

    මෙහිදී, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, “ඔබේ ආරක්‍ෂකයින් මෙම ප්‍රහාරය පිලිබඳව පෙර දැනුවත්ව සිටියේ යැයි, ඔබ ප්‍රකාශ කළ බව, විදෙස් වෙබ් අඩවියක වාර්තා කර ඇත්නම්, එය සත්‍යක්ද?“ යන්නයි.

    “බෝම්බ පිපිරුවාට පස්සේ, මගේ ආරක්‍ෂකයින් මට කිව්වා, ඔවුන්ගේ ප්‍රධානීන් ප්‍රහාරයට පෙර ඔවුන්ව දැනුවත් කර තිබුණු බව. නමුත්, මගේ ආරක්‍ෂකයින් ප්‍රහාරයට පෙර මා ඒ පිලිබඳව දැනුවත් කළේ නැහැ“ යනුවෙන් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නේය.

    මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,

    “2015/2019 අතර පැවති ආණ්ඩුවේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය සහ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලදී සහරාන් පිළිබඳ කරුනු ඉදිරිපත් කර තිබුණා නම්, ඒ පිලිබඳ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමක් සිදුව තිබුණේ ද? යන්නයි.

    “නැහැ ස්වාමිනී, ඒ ආණ්ඩුවේ හිටපු මුස්ලිම් මන්ත්‍රීවරුන් වන අපව, ඒ පිලිබඳ දැනුවත් කර තිබුණේ නැහැ“ යයි, මන්ත්‍රීවරයා පැවසුවේය. එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “ඔබ කියන්නේ 2015-2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතුයි කියන එක නේද“?

    මන්ත්‍රීවරයා, “ඔව් ස්වාමීනි“ යැයි, පිළිතුරු ලබා දුන්නේය. මෙහිදී, කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු විමසා සිටියේ, “පාස්කු ඉරුදින මරාගෙන-මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් සමඟ සිට පලාගියේ යැයි කියවුණ සාරා නමැත්තිය, මේ වනවිට ඉන්දියාවේ සිටිනවා. ඇයව ලංකාවට ගෙන්න ගන්න කියලා ඔබ සඳහන් කර තිබුණා නේද“? යන්නයි.

    “පාස්කු ඉරුදින මීගමුව, කටුවපිටිය දේවස්ථානයට මරාගෙන-මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිඳ, මෙම ත්‍රස්තවාදීන් සමඟ මිය නොගිය බවත්, ඇය ඉන්දියාවට පළා ගිය බවත් මේ වනවිට වාර්තා පළ වේ.

    ඇයට පළායෑමට උපකාර කළා යැයි, පසුගියදා පොලිස් නිලධාරියෙකුවත් අත්අඩංගුවට ගැනුණා. දැන් වර්තමානයේදී මාධ්‍ය වාර්තා පළ වෙනවා මෙම තැනැත්තිය ඉන්දියාවේ ඉන්නවා කියලා.

    එහෙනම්, වර්තමාන රජයට විශාල වගකීමක් තියෙනවා. මේ සාරාව ලංකාවට ගෙන්න ගන්න. ඒ පිළිබඳ වර්තමාන රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ යුතුයි.

    මොකද, සාරාව ගෙන්න ගත්තොත්, කවුද මේකට සම්බන්ධ, කොහොමද මේක වුණේ කියලා සියලු තොරතුරු සොයා ගන්න පුළුවන්“ යැයි මුජිබර් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නේය. එහිදී, අභියාචනාධිකරණ විනිසුරුවරයා යළි විමසා සිටියේ, “ඔබ නූර්දීන් මොහොමඩ් කියලා කෙනෙක්ව හඳුනනවාද? ඔහු කොම්පඤ්ඤවීිදිය ප්‍ර දේශයේ ඉස්ලාම් පල්ලියක පිහිවගයක් සඟවාගෙන ඉඳලා, අසුවුණා නේද?“ ඔව් නූර්දින් මොහොමඩ් කියන්නේ, එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්.

    ඔහුව මම අවුරුදු 10ක වගේ ඉඳලා දන්නවා. නමුත් අපි ඔය සිදුවීම ගැන දන්නේත්, ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ. ඔහු කිව්වේ, දිගන සිදුවීම්වලින් පස්සේ ආරක්‍ෂාවට තියාගන්න කියලා. තවත් පුද්ගලයෙක් ඔහුට ගෙනත් දුන්නා කියලා.

    නමුත්, අපි ඔහුට කිව්වා ඒක සුදුසු නැහැ කියලා“ යැයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නේය. අනතුරුව, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට කමෙිසම අවස්ථාව ලබාදුන්නේය. එහිදී, රහුමාන් මහතා විමසා සිටියේ, “ඔබතුමා මීට පෙර ජනාධිපති දොමිසම හමුවේ සාක්‍ෂි දෙන අවස්තාවේදී අන්තවාදයට සම්බන්ධ අයගේ ලැයිස්තුවක් කියද්දී, මගේ නමත් කියලා තියෙනවා. එහෙම කිව්වේ මොනවගේ පදනමකින් ද?“ යන්නයි. එයට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ.

    “මම එක්කෙනෙක්ගෙ නෙමෙයි, නම් කිහිපයක්ම කිව්වා. හිස්බුල්ලා, අසාද් සාලිගේ නමුත් කිව්වා. ඒ වගේම, 2016 නොවැම්බර් 18 වැනි දින මෙරට පුද්ගලයින් අන්තවාදයට සම්බන්ධ වනවා යැයි, කතාවක් කළේ වගකීම් සහගතව.

    නමුත්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔබ මෙම ප්‍රකාශයම අභියෝගයට ලක් කළා. පාර්ලිමේන්තුවේ මෙවැනි වගකීම් සහගත ප්‍රකාශයක් කළාම, ඒකට අභියෝග කරනවා කියන්නේම, ත්‍රස්තවාදයට අනුබල දීමක්. එවැනි හෙළිදරව් කිරීම් අභියෝගයට ලක්කිරීම තුළමයි, මේ වගේ දැවැන්ත මිනිස් ජිවිත හානියක් වුණේ.

    ඒ කාලේ ආණ්ඩුව මගේ ප්‍රකාශය ගැන අවධානය යොමු කළා නම්, පාස්කු ප්‍රහාරයයි, ආණ්ඩු බලය අහිමි වීමයි, එක්සත් ජාතික පක්‍ෂය විනාශ වීමයි, ඔය කියන කාරණා තුනම නවත්තගන්න තිබුණා“ යැයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නේය.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 20:38

    Latest News