අද ඇරඹි 20 වන ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතට අභියෝග කළ පෙත්සම් විභාගය

සැප් 29, 2020

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

    අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 39 ක්.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

    පෙත්සම් විභාගය ආරම්භ වු අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී නව සංශෝධන කිහිපයක් හදුන්වා දීමට රජය තීරණය කර ඇති බවත් එම සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව දන්වා සිටියා.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනග ඊශ්වරන් මහතා කරුණු දක්වමින් එම සංශෝධන අඩංගු ලේඛනය පෙත්සම්කාර පාර්ශ්වය වෙතද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

    ඒ අනුව අදාළ ලේඛනයේ පිටපත් පෙත්සම්කාර පාර්ශවය වෙතද ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා.

    ඉන් අනතුරුව පෙත්සමක් ගොනු කර තිබූ නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා කරුණු ඉදිරිපත් කළා.

    නීතිඥ වේරදුවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන හදුන්වා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් සදහන් කර තිබුනද එම යෝජිත සංශෝධන පිළිබඳව හැදෑරීමට සාධාරණ කාලයක් හිමි විය යුතු බව සඳහන් කළා.

    ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කීරීම සඳහා ජනතාවට හිමිව තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇති බවත් එය ජනතා පරමාධිපත්‍යය ඍජු ලෙස උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥවරයා චෝදනා කළා.

    ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් හදුන්වා දී තිබු සීමාව වත්මන් 20 වන සංශෝධන පනත් කෙටුම්පත් තුළින් ඉවත් කර ඇතැයි චෝදනා කළ නීතිඥ වේරදූවගේ මහතා මේ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වන බවද අවධාරණය කළා.

    19 වන සංශෝධනය තුළින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරිමට තිබු අවස්ථාව වත්මන් 20 වන කෙටුම්පත තුළින් යලි හදූන්වා දීම තුළින් පනත් කෙටුම්පත් වලට එරෙහිව අධිකරණය හමුවට ගොස් අභියෝගයට ලක් කිරීමට මහජනතාවට තිබෙන අවස්ථාව අහිමි කර ඇති බවත් මේ තුළින්ද ජනතා පරමාධිපත්‍යය දරුණු ලෙස උල්ලංඝනය වන බවත් නීතිඥවරයා සදහන් කළා.

    ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාල සහ රාජ්‍ය සමාගම් ගනනාවක් විගනනයෙන් ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයා ලෙස පත්වීමට පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් යනාදිය යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර ඇති බවත් ඒ හරහා මූල්‍ය පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බවද නීතිඥ වේරදුවගේ මහතා අනතුරු අගවා සිටියා.

    සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වගන්තිය මගින් සදහන් කර තිබෙන "මහජන පරමාධිපත්‍යය සමග ඍජුවම ගැටෙන හෙයින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට සිදුවන බව සදහන් කළා.

    යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළ අඩංගු වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් වලට අහිතකර ලෙස බලපෑම් එල්ල කෙරෙන බව පැවසු නීතිඥ ප්‍රනාන්දු මහතා මෙම සංශෝධන කෙටුම්පත තුළින් එක් පුද්ගලයෙකු නීතියට ඉහළින් ඔසවා තැබීමට කටයුතු කර ඇතැයි චෝදනා කළා.

    ස්වාධීන කොමිෂන් සභා, උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති, පොලිස්පති වැනි උසස් තනතුරු වලට පත් කිරීම් සිදු කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වා දී තිබු "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව" මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිලතල සදහා පුද්ගලයින් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවත් නීතිඥවරයා චෝදනා කළා.

    මේ තුළින් අදාළ පත් කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමේ අවදානමක් පවතින බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සදහන් කර තිබුනද යෝජිත 20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කරන තත්වයක් දිස්වන බව සදහන් කළ නීතිඥවරයා මෙම සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සිය අභිමතය පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන්නා.

    මේ හරහා මහජන පරමාධිපත්‍යය සහ නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇතැයි චෝදනා කළා.

    පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සදහා යොමු කළ හැකිවන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු පෙන්වා දුන්නා.

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනග ඊශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත නීතිය ඉදිරියේ බල ශූන්‍ය ලියවිල්ලක් යැයි පෙන්වා දුන්නා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම සහ ව්‍යවස්ථාවේ මූලික පදනම උල්ලංඝනය වන අයුරින් එය කෙටුම්පත් කර ඇති බවත් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම මූලික අයිතිවාසිකම් ද බරපතල ලෙස කප්පාදුවකට ලක්වන බවත් ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

    මෙම පනත් කෙටුම්පත හරහා ව්‍යවස්තාදායකයේ බලතල, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම නීතියේ ආධිපත්‍යයට ද දැඩි බලපෑමක් සිදුවන බවයි ඔහු අනතුරු අඟවා සිටියේ.

    ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා.

    වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබුණා.

    විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා ගුරු සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥවරු, සිවිල් පුරවැසියන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව 39 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා.

    ඊට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

    Latest News