පාඨලී චම්පිකගේ රියදුරුට වරෙන්තු

සැප් 29, 2020

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වරෙන්තු නිකුත් කළේය.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු පමණක් අධිකරණයේ පෙනී සිටියේය.

    දෙවැනි විත්තිකාර දිලුම් තුසිත කුමාර අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කළේය.

    ඊට අමතරව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනා වෙත නව කොන්දේසි පැණවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කරන බව නියෝග කළේය.

    විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් එසේ විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කෙරෙන දිවුරුම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝග කර සිටි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

    ඊට අමතරව සෑම මසකම පළමු වන සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ වාර්තා කළ යුතු බවට ද මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුවන් තිදෙනාට නියෝග කර සිටියේය.

    අනතුරුව වැඩිදුර විමසීම ඔක්තෝම්බර් මස 12 වනදා තෙක් කල් තැබිණ.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News