නිව් ඩයමන්ඩ් නෞකා හිමිකරුවන් සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

සැප් 26, 2020

    මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 440 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    බොරතෙල් නෞකාවේ සිදු වූ ගින්නට අදාළව රජයේ පාර්ශවය විසින් නෞකාවට සේවා සැපයීම වෙනුවෙන් අය විය යුතු රුපියල් මිලියන 340 ක් හා අද දින දක්වා ලබා දුන් සේවා සැපයීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන සියයකට අධික වියදම් ද ඒ වන්දි මුදලට අයත්වේ.

    ඒ අනුව සම්පූර්ණ වන්දි මුදල රුපියල් මිලියන 440 බව සඳහන් වේ.

    තවද සමුද්‍රිය පරිසරයට සිදු වූ සමුද්‍ර දූෂණ සම්බන්ධයෙන් MEPA ආයතනයේ මූලිකත්වයෙන් දිවයිනේ ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් සහ නාරා ආයතනයත් MEPA ආයතනයේ විශේෂඥයන් විසින් පිළියෙළ කරන ලද අතුරු වාර්තාවද නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත. එම සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසු සමූද්‍ර පරිසපර හානිය සම්බන්ධයෙන් අලාභ තක්සේරු නීතිපති තුමා වෙත ලැබීමෙන් පසුව ඒ නෞකාවේ අයිතිකරුවන්ට සහ අදාළ පාර්ශවකරුවන් වෙත ගෙවිම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

    එසේම අදාළ නිර්දේශ ලැබීමෙන් පසුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ කිලෝ මීටර් දෙසීයක් වන ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික සමුද්‍ර කලාපයෙන් පිටතට සුරක්ෂිතව යාත්‍රා කරවීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

    Latest News