එක්නැළිගොඩ පැහැර ගැනීම ගැන තවත් හෙළිදරව්වක් (වීඩියෝ)

සැප් 26, 2020
  • ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ප්‍රකාශ කළහොත්, රුපියල් කෝටි 6ක මුදල් සහ ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තයේ හෝ පදිංචිවීමට අවස්ථාව උදාකර දෙන බවට, එවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ බව, හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකුගේ බිරිඳක්, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියේය. 

    ඊයේ සාක්‍ෂි ලබා දුන්නේ යුද හමුදා බුද්ධි අංශයේ කෝප්රල් එස්. කේ. උළුගෙදර මහතාගේ බිරිඳ වන සුදර්ශනී මහේෂිකා මහත්මියයි.

     

    ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන සුදර්ශනී මහේෂිකා මහත්මිය සඳහන් කළේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක ප්‍රමුඛ නිලධාරීන් 6 දෙනෙකු අළුයම 2.00ට පමණ තම නිවසට පැමිණ, තම ස්වාමියා භාවිත කළ බව, කියන දුරකථනයක් පිලිබඳ තර්ජනාත්මකව විමසූ බව, ඇය කියා සිටියේය.

     

    “ඔයාගේ මහත්තයට කියන්න කියන දේට එකඟ වෙන්න කියලා“ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මේකට සම්බන්ධ කරල කියන්න කියලා, උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක තමන්ට පැවසූ බව, සුදර්ශනී මහත්මිය කියා සිටියාය.  ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ගෝඨාභය මහත්තයාගේ නම ප්‍රකාශ කළහොත්, රුපියල් කෝටි 6ක මුදලක් සහ  විදේශයක පදිංචිවීමට අවස්ථා උදාකර දෙන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට ප්‍රකාශ කළ බව ද ඇය කොමිසම හමුවේ හෙළි කළාය.

     

    එසේ ප්‍රකාශ කිරීමට තමාට නොහැකි බව දැනුම් දුන් පසු උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක කොලයකට අත්සන් ලබාගෙන නිවසින් පිටව ගිය බවද, ප්‍රකාශ කෙරිණ. තම සැමියා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බැවින්, කිසිදු දිනෙක හමුදා නිල ඇඳුමෙන් සැරසී, නිවසට පැමිණියේ නැහැ.  එවැනි පසුබිමක, දිනක් සී අයි ඩීයේ ප්‍රේමතිලක යන අය, තම ස්වාමියා නිල ඇඳුමෙන් මාර්ගය දිගේ අපරාධකරුවෙකු රැගෙන එන ආකාරයට ඇදගෙන ආ බව සුදර්ශනී මහත්මිය කොමිසම හමුවේ සංවේදීව සඳහන් කළාය.

     

    එහිදී ප්‍රේමතිලක නමැත්තා තර්ජනාත්මකව “සැමියා යුනිෆෝම් එකෙන් ඉන්න ෆොටෝ එකක් ගහල තියාගනින්, ආයේ කවද දකින්න වේද කියන්න දන්නේ නැහැ.

     

    මුන් ලයිෂන් ගත්ත චන්ඩි, ආයේ අවුරුදු 20කට 25කට මහින්දගේ ආණ්ඩුව එන්නේ නැති බව පිලිගනින්“ යනුවෙන් පවසමින් සැමියාට පහර දීමට තැත් කළ බව ද සුදර්ශනී මහත්මිය කියා සිටියාය. 

     

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් යන අය කොමිසම හමුවට රැගෙන එනු ලැබුවේ, බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ.

     

    සාක්‍ෂි විමසීම අවසානයේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක අසුනෙන් නැගිට්ටවා කොමිසම සුදර්ශනී මහත්මියගෙන් විමසුවේ තමාව පීඩාවට පත් කළ නිලධාරියා ඔබට හඳුනාගත හැකි ද යන්නයි.

     

    එහිදී ඇය, ප්‍රේමතිලක නමැත්තා හඳුනා ගනිමින්, සඳහන් කළේ, මොහු ඇතුළු සී අයි ඩී නිලධාරීන් තමාට කිසිදා අමතක නොවන බවයි. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට විරුද්ධව ඇති සාක්‍ෂි පිලිබඳ ප්‍රකාශ ලබාදීම උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා මෙහිදී ප්‍රතික්‍ෂේප කළේය.

     

    මේ අතර, 2008 වසරේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවශ්‍යතාවක් මත සිදුවූවක් බව පවසන්න යැයි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට බලපෑම් කළ බව, යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන් චන්ද්‍රාභය ජයසුරිය මහතා කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළේය.

     

    මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට 2016 නොවැම්බර් 21 වැනි දින පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් කර තිබුනද, තමා ඒ වනවිට යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් විදෙස්ගතව සිටි බව ද ඔහු සඳහන් කළේය.

     

    රට යැවුවේ මොන රාජපක්‍ෂ ද කියන්න යැයි විමර්ශන නිලධාරීන් අවස්ථා ගණනාවකදීම තම බිරිඳගෙන් විමසා ඇතැයි, සාක්‍ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

     

    2017 මාර්තු 30 වැනි දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න යැයි දන්වමින්, සිය බිරිඳට සිතාසි නිකුත් කර තිබූ බවත් ප්‍රකාශ කරනු ලැබීය.

     

    අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වූ දින තමා දිවයිනට පැමිණ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරව, සී අයි ඩිය තමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද, ජයසුරිය මහතා හෙලි කළේය.

     

    එහිදී, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා “මේකට ගෝඨාභයගේ නම කියන්න, මොලේ කල්පනා කරල උත්තර දෙන්න, ඊට පස්සේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්“ ලෙස පවසමින් තමාට අවස්තා ගණනාවකදීම තරවටු කරමින් බලපෑම් කළ බව, යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන් චන්ද්‍රාභය ජයසූරිය මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය. 

     

      

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 20:10

    Latest News